Monday 2nd of February 2026

English Tamil
Advertiesment


වත්මන් රජය අධ්‍යාපනයත් විනාශ කරලා ගුරු සංවර්ධන නිලධාරීන්ද අනාථ කරලා - විපක්ෂ නායක


2026-02-01 1242

 

ගුරු සංවර්ධන නිලධාරීන්ගෙ ස්ථිර ගුරු පත්වීමේ ගැටලුව අලුත් මාතෘකාවක් නොවන බවත් රජය මෙන් කයිවාරු නොගහ එදා සිට ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විපක්ෂය පෙනී සිටි බවත් මේ ගැටලුව ආංශික අධීක්ෂණ කාරක සභාවට පවා ගෙන ගිය බරපතළ ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද රටේ ඇත්තේ පැය 24 ම බොරු කියන රජයක් බවත් මේ බොරුකාර ආණ්ඩුවේ ජනාධිපතිවරයා ප්‍රමුඛ මැති ඇමතිවරු මැතිවරණ සමයේ මේ උපාධිධාරීන්ට පොරොන්දුවක් දුන් බවත් මේ උපාධිධාරී සංවර්ධන නිලධාරීන් වසර ගණනාවක් පුරා කොරෝනා සමයේ රට බංකොලොත් සමයේ නිදහස් අධ්‍යාපනයේ ගුරු හිඟය මග හරවා ගන්න කටයුතු කළ බවත් එදා 22000ක් සිට්යත් අද එය 16000ට අඩුවී ඇති බවත් රජයේ මැති ඇමතිවරු මොවුන්  අතරමං කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසයක නිරතව සිටින ගුරු සංවර්ධන නිලධාරීන් හමුවීමට අද එම ස්ථානයට ගිය අවස්ථාවේදීය.

මේක රජය මගහැරි තවත් බොරු පොරොන්දුවක් බවත් මොවුන්ට මාරාන්තික උපවාස තියන්න අවශ්‍ය නොවන බවත් මොවුන්ට රැකියා දෙන්න හැකියාව පවතින බවත් මොවුන් අතර නියෝජ්‍ය විදුහල්පතිවරු පවා සිටින නිසා මොවුන්ව බදවා ගත හැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ ගුරු සංවර්ධන නිලධාරීන් රට වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දැවැන්ත කැපකිරීමක් සිදු කර ඇති නිසා මොවුන්ව රවටන්නේ නැතිව දැන්වත් පොරොන්දු වූ ආකාරයට මොවුන්ට රැකියා ලබා දී පොරොන්දු ඉටු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මීට අමතරව රැකියා විරහිත උපාධිධාරීන් 35000ක් සිටියත් මොවුන්ට රැකියා ලබා දෙන ලෙස පැවසුවත් මොවුන්ද රවටා ඇති බවත් එම නිසා මොවුන්ට කෙලෙහිගුණ දක්වා මොවුන්ට රැකියා ලබා දෙන ලෙසත් ⁣වත්මන් රජය රටේ අධ්‍යාපනය විනාශ කරා සේ මොවුන්ද විනාශ කරන්න යන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය බලයට පැමිණියහොත් මේ ගැටලුව කඩිනමින් විසඳන බවත් රජයේ වගකීම වන්නේ පොරොන්දු ක්‍රියාත්මක කිරීම බවත් බලයට පැමිණි පසු පොරොන්දු කඩ කිරීම අනුමත කළ නොහැකි බවත් පච දේශපාලනය දැන්වත් නැවැත්විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
 

Advertiesment